සතුට... අත්දැකීම්...ක්‍රියාකාරකම් මුසු පුහුණුවක මිහිර දැයේ සංවර්ධනයට පිදෙන අවුට් බවුන්ඩ් ට්‍රේනිං

කොග්ගල“ නම අපේ දෙසවනට කදිමට හුරු පුරුදුයි. පුංචි කාලෙ මාර්ටින් වික්‍රමසිංහයන්ගෙ මඩොල් දූව පොත පරිශීලනය නොකල කෙනෙක් නැති තරම්. උපාලි - ජින්න මඩොල්දූවට ඔරුවෙන් පැනල ගියහැටි අදටත් අපේ මතක මානයෙන් වඩා ඈතක නොවනු ඇති. ඒ සුන්දර අතීත මතක ආවර්ජනයන් එක්ක පුරා දෙදිනක් ගාල්ල- කොග්ගල ගුවන් හමුදා පරිශ්‍රය කේන්ද්‍ර කරගත් කොග්ගල වෙරළ තීරයේ දි ජීවිතයට වටිනාකමක් එක්කරන පුහුණුවක මිහිර සහ අත්දැකීම ජීවිතයට එක්කර ගන්න අපි හැමෝම කැමතියි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාවත් එක්ක අත්වැල් බැඳගෙන බැහැරගත ක්‍රියාකාරකම් වැඩසටහනක් (Out Bound Training) සඳහා ඔබට අවස්ථාව දෙන්න සූදානමින්. මෙය දෙදින නේවාසික පුහුණු වැඩමුඵවක් ලෙසින් සංවිධානය වීම විශේෂයක්. රාත්‍රී දෙකක්ම විනෝදයෙන් ගතකරන මේ කඳවුරේදි ඔබට අපූරු අත්දැකීම් විඳගන්න ලැබෙනු නිසැකයි.

අපේ තෝරාගැනීම ...

කොග්ගල කියන්නෙ එක් පසෙකින් මහමුහුදට මායිම් වන අනිත් පසින් සුන්දර නදියකට මායිම් වුනු අතිශය චිත්තාකර්ෂණීය බිම්කඩක්. සුර්ය දිව්‍ය රාජයාට කැප වූ බව කියන ශ්‍රි ලංකාවේ එකම හිරුගල් දේවාලය වගේම දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර හමුදා ගුවන්තොට තියෙන්නෙත් මෙහි බව කියැවෙනවා.

නිහඩ බව පිරුනු ගැමි පරිසරය, බැලු බැලු සැමඅත පැතිරුනු හරිත පැහැ වටපිටාව, සිසිල් පවන්රැල් වැදී සිලි සිලි නදින් සුළඟට පැද්දෙන නෙරඵ විමන, ගංදිය මත පාවෙන ඔරු පාරුවල රිද්මය, රිටිපන්න ධීවරයින් පිත්තෙන් මසුන් අල්ලන ධීවර ජීවිත , නෙත්මානයේ ඇති මඩොල්දුව හා කුරුළු දූව ඇතුඵ දූපත්පරිසරය පුහුණුව සඳහා සහභාගීවන ඔබගේ මානසික හා කායික සන්තෘෂ්ටිය ඉහළින්ම තබනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි.

" කුඩා කාලයේ මේ වෙරළේ ඇවිද යමින් ගල්පරයෙහි ඇලී සිටින අරුම පුදුම සතුන් බැලීමෙන් මම මහත් සන්තෝෂයක් ලැබිමි. විශාල හිරිගල් කිහිපයකින් යුත් මේ වෙරළ ඉතා සුන්දරයි.‘‘

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් එදා සිය කෘතිවල ස්වකීය ළමාවිය විග්‍රහ කරමින් ලියූ ජීවන අත්දැකීම වල මිහිර යළි අවලෝකනය කරමින් විඳින්නට මෙම පුහුණු වැඩමුළුව ඔබට කදිම අවස්ථාවක් උදාකරනු ඇත.

පුහුණුව කාටද....

අපේ ඉලක්ක කණ්ඩායම වෙන්නෙ රජයේ රේඛීය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල/සංස්ථා යනාදියෙහි සහකාර ලේකම්/ සහකාර අධ්‍යක්ෂ/සහකාර කොමසාරිස් වැනි මාණ්ඩලික ශ්‍රේණියෙ නිළධාරීන් සහ සංවර්ධන නිළධාරී/ කළමනාකාර සහකාර වැනි කාර්ය මණ්ඩලයි. මෙය ස්ත්‍රී / පුරුෂ දෙපක්ෂයටම විවෘතයි.

ඔබේ පහසුවට...

ගාලුමුවදොර පිහිටි රටේ ආරක්ෂාවෙ මහගෙදර වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ගාල්ල කොග්ගල පිහිටි පුහුණු මධ්‍යස්ථානයට යෑමට සහ ආපසු පැමිණීමට ප්‍රවාහන පහසුකම් දෙන්නත් අපි සූදානමින්. ප්‍රණීත ආහාරපාන, සුවපහසු නවාතැන් වගේම සනීපාරක්ෂක පහසුකම්ද ඔබ වෙනුවෙන් සැපයෙනු ඇති.

ආරක්ෂාවට මුල්තැන...

ආරක්ෂාවට මුල්තැන දීම අපේ වැඩසටහනේ අංක එක. මේ වැඩමුඵවට සහභාගීවන හැමෝම ඊට සහභාගී කරගැනීමට පෙර සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් වෙත යොමුකර ඔහුගේ/ ඇයගේ කායික සහ මානසික යෝග්‍යතාවය පරීක්ෂා කෙරෙනවා.

සහභාගී වෙන්නෙ කොහොමද...

රාජ්‍ය අංශය නියෝජනය කරන අපේ අරමුණ මූල්‍යමය අරමුණු ඉක්මවූවක්. දැයේ සංවර්ධනයට උරදිය හැකි ශක්තිමත් පෞරුෂයක් ඔබ තුළින් ගොඩනැඟීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි. එක් සේවාලාභියෙක් වෙනුවෙන් රු.15,000/- ක මුදලක් අයකෙරෙන අතර පාඨමාලාව සඳහා තෝරාගත් බව දැනුම්දෙන ලිපිය සමඟින් ගෙවීම් ඉන්වොයිස් පත්‍රය ඔබවෙත යොමුකෙරෙනු ඇත. සියඵ ගෙවීම් ලේකම්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය නමින් ගිණුම් අංක 0007042778 වෙත ගෙවීමට කටයුතු කළ යුතුය.

රාජ්‍ය අංශයේ මානව සම්පත සංවර්ධනය වන ලක් දේශයේ හෙටදවස වෙනුවෙන් වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව යොදාගතහැකි පරිදි නිසි පුහුණුවකට යොමුකිරීම වඩාත් කාලෝචිතය. සැළසුම්ගත පුහුණුවක් තුළින් පුද්ගල ගුණාංග රෝපණය කිරීමත් පුහුණු සැසියෙන් පසු එක් එක් නිළධාරියා ගැන කෙරෙන අඛණ්ඩ පසුවිපරම් ක්‍රියාවලියත් මෙම වැඩසටහනේ විශේෂත්වයකි.

දිගුකලක් තිස්සේ පැවති බිහිසුනු යුද ගිනි නිවාදමා රට දිනාදුන් විරුවෝ ස්වකීය වගකීම අකුරටම ඉටුකළහ. පශ්චාත් යුද සමයද පසුකොට සංවර්ධන මාවතේ වේගවත්ව පෙරට ඇදෙන ලක්මව ගොඩනගන වගකීම දැන් ඔබ සතුය. එකී වගකීම ඉටුකරලනු පිණිස පුහුණු ශක්තියෙන් ඔබව සන්නද්ධ කරන්නට අපි පෙරමුණ ගෙන සිටිමු. මේ ඔබේ වාරයයි.....

 

ගම - රට මඟතොටද තැනෙනා මගෙ රටට

දේශය නගන ලක් පුතුනගෙ හෙට දිනට

අත්වැළ සදන මේ මෙහෙයුම ලක් පුතුට

පුහුණුව සමඟ දැය දිනුමට එනු පෙරට