ආබාධිත නාවික රණවිරුවා “විරුසුමිතුරු” සෙවන ලබයි....

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආබාධිත රණවිරු සුනිල් ශාන්ත දිසානායක මහතා වෙනුවෙන් ඉදිකළ “විසුරුමිතුරු” නිවස ගරු ආරකෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා අතින් 2018/09/20 වන දින පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් විවෘත කර විරු අයිතියට පත් කරන ලදී.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෙහෙයවනු ලබන රණවිරු සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරන “විසුරුමිතුරු” නිවාස ව්‍යාපෘතියේ එක් පියවරක් වූයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ ව්‍යාපාරික ආයතනවල අනුග්‍රහය ලබාගෙන නිවාස ඉදිකිරීමයි. එහිදී මෙම ව්‍යපෘතිය සඳහා රණවිරු නිවාස 05 ක් ඉදිකිරීමට මූල්‍ය පරිත‍්‍යාග වශයෙන් රුපියල් මිලියන 06 ක් ලබා දෙමින් ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම “විසුරුමිතුරු”  ව්‍යාපෘතිය හා එක්වූයේ රට සුරැකි රණවිරුවාට දක්වන ගෞරවය පෙරදැරි කරගෙනය.  

මෙම නිවාස 05 න් මුල්ම නිවස ගම්පහ දිස්ත්‍රික්කයේ යුධ හමුදාවේ ආබාධික රණවිරුවෙකු වෙත ලබා දුන් අතර දෙවැන්න ලෙස මෙම නාවික හමුදා ආබාධිත රණවිරුවා වෙත“විසුරුමිතුරු”  ලබා දීමට කටයුතු කෙරුණි. මෙම නිවසක මූල්‍ය වටනාකම රුපියල් මිලියන 1.2 කි. නිවස ඉදිකිරීමේදී ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සපයන ලදී.

කළුතර දිස්ත්‍රික්කයේ, මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, බණ්ඩාරගම, හල්තොට, ලඟාන ලිපිනයේ ඉදිවූ මෙම නිවස රණවිරුවා වෙත ලබා දීමේ උත්සවය සඳහා ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා සමඟ රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය, ඩේවිඩි පීරිස් මෝටර් රථ සමාගමේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි  සමන් ද සිල්වා  මහතා අතින් සිදු විය.

ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගමේ විධායක නිලධාරින්, නාවික හමුදා සුභ සාධක අධ්‍යක්ෂ,කොමදෝරු  එල්එච්එස්ආර් ලේල්ලවල ඇතුළු ත්‍රිවිධ හමුදා නිළධාරීන් ද, පානදුර කොටඨාශයේ සහකාර පොලිස් අධිකාරි  සුසිල් විජේගුණවර්ධන මහතා, මිල්ලනිය පොලිස් ස්ථානාධිපති  පීඑස් සී සංජීව මහතා සහ රණවිරු සේවා අධිකාරියේ  අධ්‍යක්ෂ මේජර් ජෙනරල් එන්.ඒ.පී.සී.නාපාගොඩ (විශ්‍රාමික) ආර්ඩබ්පී ආර්එස්පී යුපීඑස් අයිජී ඇතුලු පිරිසක් සහභාගී විය.

රණවිරුවන් වෙත දක්වනු ලබන මෙම අනුග්‍රහයන් පිළිබඳ ප්‍රසංසා කරමින් තම හඩ අවධිකළ නිවාසලාභී රණවිරුවා  මේ සඳහා දායකත්වය දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාතතුමා ඇතුළ සැමට තම බිරිඳ සහ දරු දෙදෙනා වෙනුවෙන් පිරිනැමූ මෙම නිවස සඳහා කෘතඥතාවය පළ කලේය.

නිවාසලාභී රණවිරු සුනිල් ශාන්ත දිසානායක රණවිරුවා ඇතුලු සැමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ සුභ පැතුම් එක් කරමින්, මේ සඳහා දායකත්වය දැක්වී සැමට කෘතවේදීත්වය පිරිනමයි.