රණවිරු සැමරුම් මාසය අරඹමින් පළමු රණවිරු කොඩිය ජනපතිට....

දේශයේ ඒකීයභාවය උදෙසා කැපවෙමින් යුධ පෙරමුණේ දස්කම් පෑ අභිත රණවිරුවන් අනුස්මරණය කිරීම සෑම වසරකදීම මැයි මාසයේදී සිදු කරනු ලැබේ.

2018 වසරේ රණවිරු අනුස්මරණ මාසයේ ආරම්භය සනිටුහන් කරමින් පළමු රණවිරු කොඩිය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන්ට පිළිගැන්වීම 2018 මැයි මස 02 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී. රණවිරු සේවා අධිකාරියේ සභාපති අනෝමා ෆොන්සේකා මහත්මිය විසින් පළමු රණවිරු කොඩිය ජනපතිඳුන්ට පළඳවනු ලැබූ අතර ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිඳුන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ඇතුළු ආරාධිතයින් සඳහා රණවිරු සේවා අධිකාරියේ උපසභාපතිනි උපුලංගනී මාලගමුව මහත්මිය ඇතුළු රණවිරු සේවා අධිකාරියේ කාර්යමණ්ඩලය විසින් රණවිරු කොඩි පළදවනු ලැබීය.

2018 වසරේ රණවිරු කොඩිය අලෙවිය සඳහා අතිගරු ජනපති සුරතින් සංකේතාත්මකව පළාත් ආණ්ඩුකාරවරුන්වෙත භාරදෙනු ලැබූ අතර රණවිරු මාසය තුළ අළෙවි කරනු ලබන රණවිරු කොඩිය තුලින් ලබන ආදායම රණවිරුවන්ගේ සුභසාධනය උදෙසා යොදවනු ලබන රණවිරු සේවා අධිකාරිය, පසුගිය වසරේ රණවිරු කොඩි අළෙවි ආදායම මෙම වසරේදී භාර ගනු ලැබේ.

රණවිරු සේවා අධිකාරිය විසින් සංවිධානය කරනු ලබන රණවිරු සැමරුම් මාසය තුළ සියළු පලාත්වල රණවිරුවන් සිහිකරමින් පළාත් රණවිරු සැමරුම් උත්සව පවත්වනු ලබන අතර අතිගරු ජනාධිපතිතමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික උත්සවය 2018 මැයි මස 19 වන දින කොළඹ පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ ඉදිකර ඇති රණවිරු සමරුව අභියසදි මැති අමැතිවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිතුමන් ඇතුළු රණවිරුවන්ගේ සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ ඥාතින් හා ආබාධිත රණවිරුවන් ඇතුළු විශාල ආරාධිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් අභිමානවත්ව පැවැත්වේ.