කසල කළමණාකරනය තුළින් නීල හරිත ගෙවතු වගාවක්....

සමාජයට, පරිසරයට, හා සෞඛ්‍යට මහා ව්‍යසනයක් ව ඇති කැලි කසල පිළිබඳ මේ දිනවල බහුලව කතාවට ලක්වන මාතෘකාවකි. 2017 වසරේ සිංහල අවුරුදු උත්සව සමයේදී මීතොටමුල්ල කසල කන්ද නායයාමේ ඛේදවාචකය ඔබට මතකද? ඒ හේතුවෙන් කසල කළමණාකරනය පිළිබඳ ව මුළු රටේම අවධානය යොමු වෙමින් පවතී.

එවැනි පසුබිමක් තුළ, සීමිත ඉඩකඩක් සහිතව දිවි ගෙවන වර්තමාන ජන සමූහයට කැලි කසල බැහැර කිරීමට හෝ ඉඩකඩක් නොමැතිවීම ගැටළුවක්ව පවතින අවස්ථාවක, කලක සිට කසල කළමණාකරනය පිළිබඳ විවිධ පර්යේෂණ පවත්වමින්, ජීව වායු නිෂ්පාදනය හඳුන්වා දී ඇති ශ්‍රීමාල් තිසේරා මහතා විසින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ කාර්යමණ්ඩලය වෙත කසල කළමණාකරනය හා ඒ තුලින් ජීව වායු නිෂ්පාදනය කර ගැනීම පිළිබඳ දේශණයක් 2018.04.10 දින ආරක්ෂක අමාත්‍යංශ රැස්වීම් ශාලාවේදී පවත්වන ලදී.

කසල නිසි කළමණාකරනයක් නොවීම නිසා ඇති වන විවිධ පාරිසරිකමය හා සෞඛ්‍යමය ගැටළු බොහොමයක් සඳහා විසඳුම් ලබා දෙමින් නිවසේදීම නිසි පරිදි කසල කළමණාකරනය කරමින් ජීව වායුව නිපදවා ගැනීමත්, ඒ තුළින් නිවසේ ගෑස් පරිභෝජන වියදම අවම කරගැනීමට හැකිවීමත්, මඟින් නිවසට සහ සමාජයට ආර්ථිකමය වාසිදායී තත්ත්වයක් උදාකෙරේ.  එසේම, කෘමිනාශකයක් ලෙස ද ක්‍රියා කරන සක්‍රිය කාබනික දියර පොහොර නිපදවා ගැනීම තුළින් වස විස නොමැති ගෙවතු කෘෂි බෝග වගාවන් හා එම බෝග පරිභෝජනය තුළින් තම පවුලට හා සමාජයට නිරෝගිමත් දිවියක් ගත කිරීමේ  අවස්ථාවත් මෙම වැඩසටහන මඟින් උදාවන අතර එය රටක සමබල පෝෂණයෙන් යුත් ජන සමාජයක් දායාද කරලීමට මහත් පිටුබලයක් වන ඇත.

එමෙන්ම, කසල සම්පතක් බවට පත් කර ගැනීමේ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ උදාර පරමාර්ථය පෙරදැරිව ජීව වායු ඒකකයේ නිර්මාතෘ ශ්‍රීමාල් තිසේරා මහතාගේ මෙම වෑයම යථාර්ථයක් කරලීම උදෙසා විනයත්, පුහුණුවත් ලත් ආරක්ෂක සේවාවන්හි සාමාජිකයින් මේ සඳහා සක්‍රියව දායක කරගැනීම  මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඉවහල් වනු ඇත. එම නිසා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කෙරෙන විශ්‍රාමික රණවිරු සුභ සාධන ව්‍යාපෘතිය තුළ විශ්‍රාමික රණවිරු දිවිය ද සරු කරලන්නට නීල හරිත ගෙවතු වගාවන් තුළින් කෘෂි ව්‍යවසායකයින් බිහි කිරීම උදෙසා ද අත් වැල් බැඳ ගැනීම  පැසසිය යුත්තකි.

මේ පිළිබඳ වැඩි දුරටත් විමසීම් කිරීම සඳහා ජීව වායු ඒකකයේ නිර්මාතෘ ශ්‍රීමාල් තිසේරා මහතාගේ විද්‍යුත් තැපැල් ලිපිනය -  tisserajhs@gmail.com වේ.